ඇයි මේ භාෂාවක් රකින්න තරම් අපිට මේ හැටි අමාරුවක්...අපි කොහොමද මව්බසට මේ තරම් ගරු කරන්නෙ? ගෝලීයකරණය වූ සමාජය තුළ අපි අතරමං වේවිද?
අපි කොහොමද මව්බසට මේ තරම් ගරු කරන්නෙ?
ඒක අපිරිසිදු කරන්න එපා. ඔයා කතා කරනකොට ඔයාගෙ අදහස එලියට දාන්න ඔයාගෙ ශබ්දකෝෂය ඇතුලෙ සිංහල භාෂවෙ වචන එක පාර ගලා නොඑන්න පුළුවන් . එතකොට හදිස්සියට දන්න භාෂාවක වචන අමුණලා තමයි කතාව යන්නෙ. ගොඩක් වෙලාවට අපි කරන්නෙ ඉංග්‍රීසි වචන අමුණන එක. මොකද විශ්ව භාෂාවනේ... ඉතින් ගැටෙන්නෙ ඒ වචන මේ ගෝලීයකරණය වුණ ලෝකය ඇතුලෙ. ඒක වැරැද්දක් නෙවෙයි ඔයාටවත් මටවත් අහන කෙනාටවත්.
හැබැයි එක තැනකට ඒක රිදෙනවා. ඒ කොහෙද ? ඒ තමයි මව්බස පෙරටු කරගෙන මානව වර්ගයා ඉදිරියේ පෙනී සිටි තවත් හර පද්ධතියක් .
අපි මව්බසින් කතා කරනකොට අදහස් ප්‍රකාශ කරන්නට තවත් භාෂාවක වචන අමුණන්නෙ ඇයි. මව් භාෂාවෙ වචන නැතුව ද? එහෙම කියන්න පුළුවන් මේ භාෂාව අද ඊයෙ බිහිවූ එකක් නම්. ඒත් අපේ මව්බස සියවස් ගණනාවක් තිස්සේ විකාශනය වූ, මිනිස් ජීවිත ලක්ෂ ගණනකට සිය අදහස් ප්‍රකාශ කිරීමට පිහිට වූ වක්. එතකොට කොහොම විශ්වාස කරන්න ද අදහස් වලට දෙන්න පුළුවන් වචන මේ මව්බස තුළ නැතිව ඇති කියලා.
වරද ඇත්තේ ඔබ තුළයි. ඔයා අසමත්, මව්බසේ ඇති වචන ගැන අවබෝධයක් නැති තරමට.
එහෙම කියනකොට කෙනෙක්ට කියන්න පුළුවන්, හරි පුළුවන් නම් පරිගණක ක්ශේත්‍රය තුළ භාවිතා කරන වචන සිංහලෙන් කතා කරල අදහස් ප්‍රකාශ කරන්න ගත්තාම කොහොමට නම් හිටී ද කියලා. පොඩ්ඩක් හිතලා මවාගන්නකො....😅 ඒක ඇත්තටම හිනා යන කරුණක් තමයි. තොරතුරු තාක්ෂණය පරිගණක ක්ශේත්‍රය කියන්නෙ යුරෝපා පුනරුදයත් සමග බටහිර රටවලින් ඇරඹිලා ලොව පුරා ව්‍යාප්ත වුණ නොනවතින විප්ලවයක්. ඒක මෙතනට ගැටලුවක් වේවි කියා නම් මා සිතන්නෙ නැහැ.
අප මව්බසට ගරු කරන්න යනුවෙන් අදහස් කළ යුත්තේ මව්බසේ මූලාරම්භයේ පටන් මේ දක්වා එය ගැටුණු පද්ධති තුළ ඇති වූ ක්ශේත්‍රයන්ට අදාළ, මව්බස තුළ ස්වභාවිකව නිරායාසයෙන් උපන් වචන වලට මුල්තැන දීමයි. ඒක ශබ්දකෝෂ පෙරළා ඉගෙන ගන්න ඕනි දෙයක් නෙවෙයි. මව්බස කියන්නෙම ඉගෙන ගන්න ඕනි දෙයක් නෙවෙයිනේ ඇත්තටම. ඒක ස්වයංක්‍රීයවම වගේ, ඉපදුනාට පසුව පටන් ගොඩනැගෙන හැකියාවක්.
ඉතින් අපි භාවිතය යි වැඩි කළ යුත්තේ. මේ කියන්නෙ සුද්දෙක් ඉස්සරහත් සිංහලෙන් කතා කරන්න කියන එක නෙවෙයි කියලා අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ. කතා කරාට කමක් නැහැ සුද්දාටත් සිංහල පුළුවන් නම්. 😉
ඒ වගේම තමයි සාහිත්‍යය...
ලියන, මුද්‍රණය කරන විටදීත් මව්බසට ගරු කරන්න පුරුදු වෙමු. ඒකෙන් ඔබේ විදේශීය භාෂා ඉගෙනීමේ හැකියාව පහත වැටෙන්නෙ නැහැ. මොකද ඔබ කළ යුත්තේ, එක්කෝ විදේශීය භාෂාව පරිපූර්ණ වශයෙන් භාවිතා කිරීම හෝ නැතිනම් මව්බස පරිපූර්ණ වශයෙන් භාවිතා කිරීම. මව්බසෙහි වචන අමතක කරමින් කැඩිච්ච සිංහල හෝ කැඩිච්ච ඉංග්‍රීසි භාවිතා කිරීම නෙවෙයි.
අපි ප්‍රතිපත්තියක් වශයෙන් මව්බසට ගරු කරන්න පුරුදු වුණොත්, එය විදේශීය භාෂාවන් වුණත් පහසුවෙන් හා චතුර ලෙස හසුරුවන්න ඔබට ලොකූ හැකියාවක් විවර වන බව නම් කියන්න පුළුවන්. මොකද ඔබ පුරුදු වන්නේ, භාෂාව කුමක් ද එය කතා කරන මොහොත තුළ එයට ගරු කරමින් අදහස් ප්‍රකාශ කිරීමටයි.
එවිට ඔබ ඉගෙන ගන්නා විදේශීය භාෂාවක් වුණත් ඔබ තුළ හොදින්ම පිහිටාවි.
ඒ ඒ හර පද්ධතීන් දූෂණය නොකර ඒ ඒ අනන්‍යතා තුළ ස්වභාවිකත්වයට ලං වෙන්න ඒක ඔබට ප්‍රයෝජනවත් වේවි.
ඔබට ජය....! 🧡
~ [අපේ භාෂාව රැකගනිමු (3)]

Comments
Post a Comment