මම ඔවුන් රැක ගනිමි...
මම කැමතියි මහපොළොව සමඟ පොර බදන මිනිස්සුන්ට
ඔවුන් ගහකොළ සමඟ කතා කරන හැටි බලන්න...
සත්තුන්ගෙ ඉඟි බිඟි තේරෙන අයට
උන්ගෙ බඩගින්න නොකිය දැනගන්නවට
දොළ පාරක් ගලන රිද්මය දන්න අයට
අහසේ වළාකුළු ගැන තේරෙන අයට
කොටින්ම...වැස්සට තෙමෙන්න බය අයට නෙවෙයි,
වහින්න ලඟ බව දැනන් තෙමෙන්න ලෑස්ති වෙන අයට
ඉර පායනකොට, ඉර බැස යනකොට
ඒක දිහා බලන් ඉන්න පුළුවන් අයට…
බස් එකේ යන්න සල්ලි නැති එකාට කීයක් හරි දීල,
හුලන් වැදි වැදි පයින් යන්න පුළුවන් මිනිහට...
නීතිය ඉදිරියේ වරදකරුවෙකු වුවද,
සැබැවින් නිවැරදිකරුවෙකු බව හදවතින් හැඳිනිය හැකි විශ්වාසවන්‍තයින්ට
වචන වලින් නොව හැඟීම් වලින් කතා කරන අයට
කියූ දේ නියතවම කළ හැකි දක්ශයින්ට
ඇතුලෙත් පිටත් දෙකක් නැති අයට...
කොතරම් අපූරුවට විකෘති කළ හැකි වුණත්,
හදවතට දැනෙන දේ නොවෙනස්ව වදන් කළ හැකි ශක්තිවන්තයින්ට...
වැරදි නොකරන පණ්ඩිතයින්ට නොව,
වැරැදි කළ බව පිළි අරන් එය හදාගන්නවුන්ට...
ලස්සන මලක් දුටු විට එය කඩා නොගෙන,
මල් ගහේ මුලට පොහොර වතුර දාන අයට
එහෙව් මිනිස්සු සිටින්නේ කොහේද... නිසැකවම ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමි
මන්ද මනුෂ්‍යත්වයේ සැබෑ පරිණාමය රැකිය යුතු නිසා
☕✍️ ලංකාරී
Comments
Post a Comment