මහපොළොව මත හිඳ, පාවහන් ගලවා එන්න අපි ඇත්ත කතා කරමු.
හැමෝටම ආදරෙන්.... ආයෙත් ! 💝
අපි ඇත්ත කතා කරමු. හැමදාම රැල්ලට කෑකෝ ගහනවා වගේ නෙවෙයි ඇත්ත කතා කරනකොට ලොකු ජවයක් තියෙනවා. ඒ වගේම ලොකු බලයක් තියෙනව. අපේ හඬ බලවත් කරන්නට අපි ආරාධනා කරමු අද විශ්වයට හා සොබාදහමට. ඒ තුළ හැංගුණු ශක්තිය අප හා අනුනාද කරවන්නට. අපි උපන් මහ පොළව මත හිඳ පාවහන් ගලවා කතා කරන්නට ඇත්තෙන්ම අපිට අයිතියක් තියෙනවා.
සිරි ලංකාව කියන්නේ කවුරුත් දන්න විදිහට නිවර්තන දේශගුණයක් තියෙන සමකාසන්න රටක්. අපේ රටේ භූමිය ගොඩාක් සාරවත් පසකට හිමිකම් කියනවා. විසි කරන දණ්ඩත් පැළ වෙන මහ පොළොවකටයි අපි උරුමකම් කියන්නේ.
මේ දේශගුණය තුළ ජීවත්වන ඔබ අප සියලු දෙනාම මේ දේශගුණයේ වටිනාකම හොඳින්ම හඳුනනවා. මේ තරම් සෞම්‍ය සන්සුන්, ජීවත් වීමට ඉතාම පහසු දේශගුණයක් ලංකාවට දායාද වෙන්න ප්‍රධානතම හේතු තමයි, සමකාසන්න වූ නිවර්තන කලාපයක ලංකාව පිහිටා තිබීම, දූපතක් වීම, ඉන්දියන් සාගරයේ මධ්‍යගතව පිහිටා තිබීම, ලංකාවේ ස්වාභාවික භූගෝලීය පිහිටීම, දිවයින පුරා විසිරී ඇති ගංගා වල පැතිරීම, ඒ වගේම වසර ගණනාවක් පුරා ආරක්ෂාකාරීව පැවැත්වුණු වනාන්තරත් මේ ශ්‍රී ලංකාවේ දේශගුණය මෙයාකාරයෙන් පවත්වාගන්නට ඉතාමත්ම වැදගත් සාධක වෙලා තියෙනවා.
ස්වභාවික සුන්දරත්වය කියන්නෙ ඇත්තෙන්ම මනුස්සයෙක්ගේ මනුෂ්‍යත්වය කියන ගුණය ඉහළ නංවන්නට අවශ්‍ය සාධකයක්. ඒ කොහොමද කියනවනම්, ස්වභාව සෞන්දර්ය තුළ ගැබ් වෙලා තියෙනවා අමුතුම ශක්තියක්. ඒ ශක්තිය එන්නේ එක්තරා ගුණයක් නිසයි. ඒ තමයි "සජීවී බව". කෘත්‍රීම කොන්ක්‍රීට් වනාන්තරවල ජීවත් ව සිට ස්වභාවික පරිසරයකට සංක්‍රමණය වී ඇති ඕනෑම මනුෂ්‍යයෙක්ට හදවතට ම කතා කරන කෙනා තමයි සොබාදහම. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මනුෂ්‍යයා සොබාදහමෙන් ඈත්වෙන්න ඈත්වෙන්න මානසික රෝග ඇති වීමේ අවදානම ඉහළ යන බව. ඒක, මනසේ ක්‍රියා විකෘති කරන්න හේතුවක් වෙන බව. සොබා දහමින් ඈත් වෙන්න වෙන්න මනුෂ්‍යයාට අහිමි වන්නේ සිය සජීවි ගුණයයි. මන්ද මිනිසා යනු සොබාදහම සමඟ අන්තර් ක්‍රියා කිරීමට සලස්වමින් ජීවත් වීමට ඉඩ හරින ලද සත්ව කොට්ඨාසයක් නිසා. එයින් වෙන්ව විසීමට ඔවුන්ගේ භෞතික හා මානසික සැකැස්ම නිර්මාණය වෙලා නැහැ.
ජීව විද්‍යාව තුළ අපි ඉගෙන ගන්නවා ශාක හා සත්වයින්ගේ දේහ ක්‍රියාකාරීත්වය. ඒ වගේම ඒවායේ ව්‍යුහය. අපේ ශරීරය ක්‍රියාත්මක වන ආකාරයෙන්ම ශාකත් ජීවී බව පවත්වා ගන්න සකස් වෙලා තියෙනවා. ඇත්තටම ගස් වලට පණ තියෙනවා. විද්‍යාවෙන් පවා මේ වන විට සනාථ වී තිබෙනවා ශාකවලින් කිරණ නිකුත් කරන බවට. ඇත්තෙන්ම ගස් කතා කරනවා... ගස් හුස්ම ගන්නවා. ඔයාගෙ නිවසෙන් එලියට බැස්සොත් ඔයාට දකින්න තියෙන හැම ගහක්ම හුස්ම ගන්නවා. හැම ගහක්ම කතා කරනවා. ඒත් ඔබට ඇහෙන්නේ නැහැ. මොකද ඔවුන්ගේ සන්නිවේදන භාෂාව ඔබ දන්නේ නැති නිසා. ඇත්තටම ඒ ගස්, තරංග පිට කරනවා ඔයාට දැනෙන්නේ නැති විදිහට. ඒ ගස් වලට ආදරේ දැනෙනවා.ඒ ගසකට යහපතක් පැතුවොත් ඒ ගසක් සතුටු වෙනවා. මල් ඵල දරනවා. ලියලා වැඩෙනවා. ඒ ගස්වලට බැන වැදුනොත් වෛර කරොත් ඒ ගස් දුක් වෙනවා. එතකොට ඒ ගස් වලින් අඳුරු කිරණ නිකුත් වෙනවා. මේ සියල්ල බොරු මනස්ගාත නොවෙයි. මේ වන විට නූතන දියුණු විද්‍යාව මගින් සනාථ කරගෙන ඇති පරිසරයේ හැංගිච්ච ක්රියාකාරිත්වයන්.
ඇත්තටම දිවයින පුරාම හැමතැනම කොළපාට කරන්නේ අන්න ඒ වගේ මහ ගස් සමුදායක්. ඒ ගස් වලට ජීවය දෙන්න, ලේ නහර වගේ පොළොව පුරා විහිදිලා ගිය දිය දහරා උදව් කරනවා. අහස පුරා විහිදිලා, එකම රිද්මයකට මෝසම් කාලෙට පෙළ ගැහිලා පාවෙලා ගසාගෙන එන වළාකුළු උදව් කරනවා. එක ගහකට හුස්ම දෙන්න ළඟ පාත වටපිටාවෙ ඇති ගස් සිය ගණනක් උදව් කරනවා. අන්‍යොන්‍ය උපකාරයෙන්, ගසුත් ආරක්ෂාකාරීව වර්ධනය වෙනවා. එකිනෙකා සහයෝගයෙන් මේ මහ පොළොව තුළ ජීවත් වෙනවා. අපි වගේ නෙවෙයි මහ පොළොවෙන් ගන්න හැම අංශුවක් පාහේ නැවතත් මහපොළවට පරිත්‍යාග කරන්න ඒ ගස් නිහතමානීව බැඳී සිටිනවා. එයාල ඒ දේ කරන්නෙ හරිම ආදරයෙන් කරුණාවෙන්. අපි හැමෝටම සුවයක් දෙන්න ඒ ගස් බැඳී ඉන්නවා. ඒ ගස්වල අතු දිගේ බඩ ගාන සත්වයින්ට ඉන්න හිටින්න සෙවණක් දෙන්නෙත්, කන්න බොන්න දෙන්නෙත්, හුස්ම දෙන්නෙත්, හරි ලස්සනට පිළිවෙලට උණුසුම සීතල කිරල මැනල හදල දෙන්නෙත් ඒ මහ ගස් තමයි.
ගහක් කියන්නේ ප්‍රාණයක්.
ඒ පණ තියෙන වටපිටාවේ රිද්මය වෙනස් කරොත්....! ඇත්තටම මිනිස් සිරුරේ හදවතේ රිද්මය වෙනස් උනා හා සමානයි. හදිසි හෘදයාබාධයක් හැදුණා වාගේ, ඒ හරිත පද්ධතියම වෙනස් වෙන්න ගන්නවා. ඔවුන් බිය වදිනවා. ලේ නහර වගේ ගලපු ගංඟා වියැකෙන්න ගන්නවා. පිළිකාවක් වගේ කෘත්‍රීම කොන්ක්‍රීට් වනාන්තර, මහා වැසි වනාන්තර වල පැතිරෙන්න ගන්නවා. ඒ පිළිකාව පෝෂණය කරන්නට පෙළගැසුණු පිළිකා වර්ධකයන් ක්‍රියා කරනවා සේ, කෘත්‍රීම ජල නළ පද්ධති, විදුලි සැපයුම් කිසිදු පාරිසරික කළමනාකාරීත්වයක් නැතිව පෙරමුණ ගන්නවා. ඇත්තෙන්ම මිනිස්සු හරිම දරුණුයි. ඔවුන්ගේ හිත්, සොබාදහම වගේ සියුම් නැහැ. ගොඩක් රළුයි. ගසක හුළඟක්වත් ගත දැවටිලා නැති පාටයි. ඇත්තෙන්ම මිනිස්සුන් අකාරුණිකත්වයට ඉඩ දිය යුතුයිද?
අපි හීනයක් හදමු....ආකල්පයක් හදමු....අලුත් තේමාවක් හදමු....❤
මේ සිරි ලංකාවේ දිවි ගෙවන මිනිසුන් අතරේ විශේෂිත මිනිස් කොට්ඨාසයක් කැපී පෙනෙන්න ගන්නවා. ඔවුන් හුඟක් වෙනස්. ඔවුන් හරිම කාරුණිකයි. සොබාදහමේ රිද්මය ඔවුන්ගේ හදවතේ රිද්මය සමඟ අනුනාදය වෙන ජාතියක්. ඔවුන් කිසිදු දේකට කුලල් කා ගන්නේ නැති පිරිසක්. ඔවුන් ඉතා බුද්ධිමත්. ඔවුන්ට ඇත්තේ ඉතා සූක්ෂම ප්‍රඥාවක්. ඔවුන් එකා එකා පෙළ ගැසී සොබාදහමට ආදරය කරන්න ගන්නවා. දැනටත් ඉදිවී ඇති මහා නගර තුළ කෘත්රීමව වුවද හරිත වනාන්තර ගොඩනඟනවා. නගර වල පදික වේදිකා ගස් වලින් සෙවණ ලබනවා. මඟ දෙපස පහන් කණු රාත්රියේදී ගස් වලට ආලෝකය සලස්වනවා. දිවා කාලයේදී, වාහන දුම් නිසා අපවිත්‍ර වන නාගරික වායු ස්කන්ධ ගස් මඟින් පවිත්‍ර කරනවා. ඇත්තෙන්ම මිනිස්සුයි ගසුයි හරිම සහයෝගයෙන් නගරය තුළත් ජීවත් වෙනවා.
ඉතිරිව ඇති වැසි වනාන්තර වටා ශක්තිමත් සීමා මායිම් ලකුණු කර, වනාන්තර රැකීමට ශක්තිමත් හා ප්‍රායෝගික නීති ගොඩනඟනවා. ඒ සඳහා සන්නද්ධ දැනුමක් ඇති, පාරිසරික කළමනාකාරීත්වය උදෙසා උපරිම හැකියාවක් ඇති, කිසිවෙකුටත් දීන නොවෙන පරිසර භටයින් නිර්මාණය කරනවා. මිනිසුන් පරිසරයට ආරක්ෂා කරන්න පෙළගැසෙනවා. නිවෙස් තුළ දිවිගෙවූවත් දිවා කාලයේ සෙවණ පතා මහා ගස් ලඟ සැනසීම ලබනවා. සිසිලස ලබනවා. මුළු දිවයිනම හරිත පාරාදීසයක් වෙන්න ගන්නව. ශ්‍රී ලංකාව දියුණු වෙලා. හැබැයි හරිම වෙනස්. අති නවීන තාක්ෂණය ගොඩනැඟෙන්නේ හරිත පරිසරයක් තුළයි. මිනිස්සුන්ගේ මනස සොබාදහම තුළ සන්සුන් වෙන්න ගන්නවා. සිරි ලංකාවේ මේ සංවර්ධනය ලෝකය පුරා පුවත් මවනවා. "හරිම අමුතු රටක්. මුළු රටම උද්‍යානයක්. හරිත අරණක්... දිව්‍යලෝකයක්..." සංචාරකයන් වැලනොකැඩී අපිව බලන්න එනවා. හැබැයි කවුරුන් ආවද, පරිසර හමුදා කිසිවෙකුටවත් ගහකට අතක් තියන්න දෙන්නේ නෑ... එයයි ඒ බුද්ධිමත් මිනිස්සුන්ගේ විශේෂත්වය. අකාරුණිකත්වය පරයා නැඟී සිටි කාරුණික මිනිසුන් අකාරුණිකත්වයට පිහියෙන් අනින්න දෙපාරක් හිතන්නෙ නෑ. අකාරුණිකත්වය මරලා දානවා බොහෝම කාරුණිකව. අපරාධකරුවන්ට කාරුණිකව පහර දෙනවා සොබාදහමේ හුස්ම පොද බේරාගන්න.
ඉතින් ඒ අහස උසට ගොඩනඟපු හීනය, ගසක් ගැන මොහොතකටවත් නොසිතපු මිනිස්සුන් වෙනුවෙන් උදව්වක් වේවි කියා සිතනවා පොල්ගසක් තරම් උසකටවත් යතාර්ථවත් වෙන්න.
අපේ ලංකාව පුරාම විසිරිලා තියෙන ඒ ප්‍රාණයන් මහපොළොව පුරා විසිරී නැඟී සිටිමින් හුස්ම ගන්නවා. මනුෂ්‍යයින් වන අපි ඒ මහා වෘක්ෂලතා පණ වගේ ආරක්ෂා කළ යුතුයි නේද?
අපි නැගිටිමු ආයෙ හැමෝම පරිසරයට ආදරය කරමු. අපි මුල ඉදම් පටන් ගමු. මේ article එක ලොකු motivation මට. ස්තූතියි. ජය
ReplyDeleteබොහොම ස්තූතියි ! ඔව් එය කල කළ යුතුමයි
Delete