කිසිදු ආකාරයක වෙනත් භාෂාවක් භාවිතා නොකර, වෙනත් භාෂාවක එක වචනයක්වත් භාවිතා නොකර, ඔබේ මව් භාෂාව පමණක් හසුරුවමින් ඔබේ අදහස නිවැරැදිව සම්ප්‍රේෂණය කළ හැකිද?

තම මව් භාෂාව සුරැකීමට සිතට ගත් පුද්ගලයෙක්ට නම්, මෙය වර්තමානයේ එල්ල වී ඇති ප්‍රභල අභියෝගයක්. 

මා සිතන පරිදි අප භාෂාවක් යොදාගන්නෙ අදහසක් තවත් කෙනෙක්ට සම්ප්‍රේෂණය කරන්නටයි. ඒ භාෂාව කුමක් වුවත් අදහස් සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව ඉතා ඉහළ නම් ඒ අදහස් උකහා ගන්නා ඔබ අවට සමාජය තුළ ඔබ ඉතා ජනප්‍රිය හෝ පහසුවෙන් තේරුම් ගත හැකි හෝ සමීප පුද්ගලයකු වනු ඇත. මන්ද කථනයේදී වුවද කතා කරන පුද්ගලයා හා සවන් දෙන්නන් අතර පවතින්නේ ඇත්තෙන්ම සිතුවිලි අතර සන්නිවේදනයක්

තමන්ට දැනෙන සිතුවිල්ල තවත් කෙනෙක් වෙත කරන සම්ප්‍රේෂණයක්. එය නිවැරැදිව සම්ප්‍රේෂණය කළ හැක්කේද, තම සිතුවිලි වලට පවා ඇහුම්කන් දෙන්න පුළුවන් පුද්ගලයකුට පමණයි. මොකද එහෙම කෙනෙක්ට විතරයි, ඒක වචන හෝ මොකක් හරි මෙවලමක් භාවිතා කර එලියට දාන්න පුළුවන්. ඒ කියන්නෙ එලියට දාන්නෙ මොකද්ද කියලවත් දන්නෙ නැත්තන්, එතනින් එහාට කතා නොකරාට කමක් නැත කියලා තමයි මේ කිව්වේ. 

කොහොම නමුත්, කෙනෙක් කතා කරන්නට ගන්නා මෙවලම (සිතුවිලි එලියට දාන්න ඒ හා අමුණන්න භාවිතා කරන භෞතික උපක්‍රමය) මොන විදිහෙ උනත්, තවත් කෙනෙක්ට ඒක හරියට තේරුම් ගන්න පුළුවන් නම් ඇති කියලායි මං අහලා තියෙන්නේ . ඒ කියන්නෙ උදාහරණයක් විදිහට සම්මතයෙ ඇති එකම එක භාෂාවක් විතරක් භාවිතයට ගත්තත්, භාෂාවන් දෙකක් කලවම් කරල වචන ගැලපුවත් , ව්‍යාකරණ වැරදි වැරදි හරි හඬ උස්පහත් කිරීමෙන් හෝ දෙන්න ඕනි අදහස හරියට දුන්නත්, කමක් නැහැ. ජීවත් වෙන්න එදිනෙදා වැඩකටයුතු කරන්න නම් ඒක හොදටම ප්‍රමාණවත් වේවි. 

ඒත් මේ කියන්නෙ ඒ කතාව නෙවෙයි. මේ කියන්නෙ එහෙම කතා කරන්න උනත් හොඳ හැකියාවක් තියෙන කෙනෙක්ට තම මව්බස වෙනුවෙන් කරන්න ඕනි යුතුකමක් සහ වගකීමක් ගැනයි. උදාහරණයක් විදිහට අපි ලංකාවේ ඉපදිලා සිංහල භාෂාව මව් භාෂාව බවට පත් කරගත් පිරිසක් ඉන්නවා. මම හිතන්නෙ ලංකාවෙ බහුතරය ඒ පිරිස. ඊට අමතරව ලංකාවේ ඉපදුනත් දමිළ භාෂාව හෝ ඉංග්‍රීසි භාෂාව මව් භාෂාව වුණ අයත් මේකෙ ඉන්න පුළුවන්. නමුත් මා මේ අමතන්නෙ එහෙම පිරිසටත් වඩා සිංහල භාෂාව මව් භාෂාව බවට උරුමකම් කියන අයට සහ සිංහල භාෂාව ලෝකය තුළ රැක ගත යුතුයි කියන සිතුවිල්ල ආපු පිරිසට. 

ඇයි මේ භාෂාවක් රකින්න තරම් අපිට මේ හැටි අමාරුවක්. "කොහොම හරි ඕනි කතා කරන්නනෙ...අදහසක් ප්‍රකාශ කරන්නනේ" මෙහෙම හිතන පිරිසකුත් ඉන්නව. ඒ අතර " ඔව් සිංහල භාෂාව ආරක්ෂා කරන්න ඕනි තමයි හැබැයි ජාත්‍යන්තර භාෂාව තුළ අපි ජීවත් විය යුතුයි. මොකද ඒ තුළින් ලබා ගත හැකි ප්‍රයෝජන බොහෝමයි" කියන පිරිසත් ඉන්නව. ඒ අතර "නැහැ අපි ලංකාවේ අපි කතා කළ යුත්තේ සිංහල විතරයි" කියන ඉතාම සුළුතරයක් උනත් ඉන්න පුළුවන්. ඔවුනොවුන්ට සාපේක්ෂව ඔය කියන හැම කතාවක්ම නිවැරැදි වෙන්න පුළුවන්. මං කියන්න හදන්නෙ හරි දේ මොකද්ද කියලා නම් නෙවෙයි. 

ඇත්තටම භාෂාවක් කිව්වම ගොලු භාෂාව උනත් භාෂාවක්. ඉතින් ඒකෙ උනත් වටිනාකමක් තියෙන්නේ ඒක භාවිතා කරන කෙනා වගේම ග්‍රහණය කරගන්න කෙනාත් ඒ ගැන අවබෝධයක් තියෙනවා නම් පමණයි. මොකද නැත්තන් තේරුම් ගන්න බැරි වෙනව.  කවුරුහරි අපි ඉස්සරහට ඇවිල්ලා ග්‍රීක් භාෂාවෙන් අපිත් එක්ක කතා කරන්න ගත්තොත් (අපි ග්‍රීක් භාෂාව දන්නෙ නැත්තන්) අපිට කිසිම වැඩකට ඇති සන්නිවේදනයක් එතන වෙන්නෙ නැහැ. කතා කරන කෙනා උනත් සිය හැගීම් පිට කරමින් ස්වයං පාපොච්චාරණයක යෙදුනොත් හැරෙන්නට කතා කරන කෙනා එක්ක නම් අදහස් අතින් කිසිදු සම්බන්ධයක් ඇති වෙන්නෙ නැහැ. 
නමුත් මේ භාෂාවක් කියන එක සලකනකොට අපි දකිනවා සම්මතයෙ ඇති ඕනෑම භාෂාවකට එක්තරා ඉතිහාසයක් තියෙනවා. ඒ ඉතිහාසය තුළ භාෂාව සකස් වෙන්නෙ විවිධාකාරයේ හේතු සකස් වෙලා. ඒ  ඒ භාෂාවක ගලා යාම, වචන සකස් වීම හා ගලපන විදිහ, ඒ වගේම ස්වර සැකස්වීම, කට හඩ භාවිතා කරන විලාසය ආදී ආවේණික ලක්ෂණ තීරණය වෙන්නෙ ඒ භාෂාව භාවිතා වුණ සමාජය කළ කී දෑ වල ප්‍රතිඵලයක් විදිහට. ශීතකාලය තරණය කරන සීතල රටවල උදවිය කතා කරනකොට අපේ වගේ සමකාසන්න උෂ්නාධික රටවල කතා කරන විදිහට කට ඇරලා කතා කරන්නෙ නැති තරම්.  ඔවුන්ගෙ උච්චාරණයන් දෙස නිරීක්ෂණය කරනකොට ඒක පැහැදිලි වනු ඇත. ඒ ස්වරූපයෙන් සිය ස්වරාලය හා මුඛය හසුරවපු මිනිසුන් අන්‍ය භාෂාවක් වුවද කතා කරන්නෙ ඔවුන් පුරුදු වූ උච්චාරණයට අනුරූපීවයි. ඇත්තෙන්ම කට මුල්කරගෙන භාෂාව භාවිතා කිරීම පවා කෙතරම් ජීව විද්‍යාත්මකද, මේ උදාහරණයේ හැටියට කෙතරම් පරිසර විද්‍යාත්මකද...😃 

" Your native language affects what you see "
මේ වාක්‍යය මම උපුටා ගත්තෙ අන්තර්ජාලයේ සැරිසරන අතරතුරදී. ඒ සමග අමුණා තිබූ පින්තූරයයි මේ පෙන්නුවේ.


~ [අපේ භාෂාව රැකගනිමු (1) ]

මීලඟ ලිපිය >> [අපේ භාෂාව රැකගනිමු 2]

Comments

Popular posts from this blog

අපි ආදරය කරන්නෙ ඇත්තටම ද?

මහපොළොව මත හිඳ, පාවහන් ගලවා එන්න අපි ඇත්ත කතා කරමු.

මම ඔවුන් රැක ගනිමි...