අතීතය හා අනාගතය, වර්තමානයට අයත් ද?

මියගිය ඉතිහාසය දැන් අපිට අයිති නැත. එය නිකම්ම නිකං මතකයක් පමණි. මතකයක් යනු මොළයේ ගබඩා කරගත් දත්ත ටිකක්‍ ය. එබැවින් එවැනි දත්ත යම් ප්‍රමාණයක් මොළයේ රදවා ගෙන ජීවත් වන විට මියගිය ඉතිහාසයක ඇති ඵලය කුමක් ද? 

අපගේ කුඩා කල අප ගත කළ අයුරු චිත්තරූප මගින් සිහියට නගා ගත් පසු අපට දැනෙන හැගීම කුමක් ද? එය වචනයෙන් විස්තර කළ නොහැකිය. සැබැවින්ම අපි එවැනි කාලයක් තුළ ජීවත් වූවා ද? මේ සිටින ඒ මම ම ද?, දැන් කෙතරම් විපරිත වී ඇති ද? සැබැවින්ම එදා මා තුළ තිබූ සිරුරේ එකදු පරමාණුවක තරම් දෙයක් මා තුළ නැතුවාට සැකයක් නැත. එබැවින් එදා සිටි මම නොවේ දැන් සිටින්නෙ...
නමුත් ඒ තමන්ගෙ කුඩා අවදිය යැයි බොහෝ දෙනා පවසති. එදා කළ දේවල් එදාට වලංගු වන අතර අද කරන දේවල් අදට වලංගුය. හෙට කරන දේවල් හෙටට වලංගුය. එනමුත් එදා දේවල් අදට වලංගු නැත. එබැවින් එදා මා තුල තිබූ හැගීම්, අදහස්, බුද්ධිය මේ කිසිවක් වගේම ශරීරය, ගෙවල් දොරවල්, ඉඩකඩම් අදට මා හට වලංගු වේද? එදා සතුටින් ගත කලේ නම් ඒ සතුට ගබඩා කර තබාගෙන අවශ්‍ය වේලාවට භුක්ති විදිමින් අද සතුටු විය නොහැක්කේ එදා දේවල් අදට වලංගු නොවන නිසා නොවේ ද? අනාගතය ද එසේම ය. අද අප කෙතරම් සතුටු වුවත් දුක් වුවත් ඒවා අනාගතයට උරුම නැත.  අද අප කෙතරම් පොදි බැඳගෙන ජීවත් වුවත්, ශරීරය ලස්සනට තබා ගත්තත්, ශරීරයේ එකදු සෛලයක්වත් අනාගතයට උරුම නැත. එබැවින් අද අප සතුටක් විදින්නෙ නම් එය ගබඩා කර තබා ගත නොහැක. 
 අද යනු මේ මොහොතයි. අතීතයවත්, අනාගතයටත් අප උරුමකරුවන් නොවේ. කොතරම් අතීතය සිහියට නගමින් ජීවත් වුව ද, කෙතරම් අනාගත ගැන සිතමින් සිහින දැක්ක ද එහි කිසිදු ඵලක් නැත. අනාගතය   ඵලදායි වනු ඇත්තේ අප කරන දේවල් අනුව මිස සිතන දේවල් අනුව නොවේ. එනම් භෞතික වශයෙන් අප සිතන දේ තුළින් බාහිරත්වය විපරීත කරන්නේ නම් බාහිරත්වය මගින්ම අපට එහි ප්‍රතිඵලය ලැබෙනු ඇත අනාගතයේදී. වැඩක් කිරීම යනු  අභ්‍යන්තර බාහිර සම්බන්ධයක් වන අතර, ප්‍රතිඵලය යනු බාහිර අභ්‍යන්තර සම්බන්ධතාවයකි. කෙසේ නමුත් අප වැඩක් කිරීමක් තුළවත් නොසිට අවම වශයෙන් නූපන් අනාගතය ගැන සිතමින්  එවැනි නූපන් අනාගතයක් ගැන සිහින මවනවා නම් එය කෙතරම් උන්මන්තකබවක් ද? සියලු පෘථග්ජනයන් උන්මන්තකයින් බව බුදුන්වහන්සේ දේශනා කලේ ඒ නිසා විය යුතුය. එබැවින් අපට අයිතිවාසිකම් කිව හැක්කේ මේ මොහොතට පමණි. මන්ද මේ මොහොත ජීවිතයයි. 
ස්වාභාවිකත්වය බාහිර, අභ්‍යන්තර ලෙස කොටස් දෙකකට බෙදිය හැකිදැයි මම නොදනිමි. එය බුදු දහමේ නාම - රූප ධර්මයන්ට සමාන්තර වන හෙයින් ඊට සමාන කිරීමට ද හැකිය. නමුත් බාහිර දේ, අභ්‍යන්තරික වශයෙන් පිළිගන්නා උදවිය ඊටත් වඩා උන්මන්තකයින්‍ ය. එනමුදු අභ්‍යන්තර දේ බාහිර ලෙස දැකිය හැකි නම් ඒ තුල යම් නිදහසක් දැනේ. සැබැවින්ම අභ්‍යන්තර යනු කුමක් ද? එය මා නොදනිමි. එනමුත් මා මෙසේ දනිමි., බාහිර ලෝකය මගේ නොවේ. බාහිර ලෝකය මම නොවේ. මම ද මම නොවේ. එබැවින් මම යන්නෙහි කෙනෙක් නැත. එබැවින් 'මම'  යන්නද බාහිර සාධකයක් පමණි. මටත්, බාහිර පරිසරයටත් අයිතිකරුවෙක් නොමැත. මම මට ද අයිති නැත. මේ තුළ කිසිවක් නැත. කුමක් තුළ ද , සියල්ලම හිස් අවකාශයක් පමණි. 

ඉන්ද්‍රීය සංවේදනයේ දුර්වලභාවය නිසා යථාර්තය  අපැහැදිලි ය. එබැවින් යථාර්ථය ඉන්ද්‍රීයගෝචර නොවේ. නමුත් ඉන්ද්‍රීයන් කෙතරම් දුර්වල ද කියතොත් නැති දෙයක් ඇති දෙයක් ලෙස පෙන්වනු ලැබේ. වැරදි දත්ත ලබා දෙන පද්ධතියක ඇති ඵලය කුමක් ද? 
එබැවින් සූර්යයාලෝකය නම් සාධකය ( නො එසේනම්  බලශක්තිය) උපයෝගී කරගෙන ඇස නම් ඉන්ද්‍රිය මවා පාන්නේ යමක් ඇති බව නොවේ ද? සූර්යාලෝකය ද ඉන්ද්‍රීයද යන්න මේ කිසිවක් නැත. එබැවින් ඒ තුලින් මවන රූපයක්ද නැත. රූපයක් ඇත්නම් එය දුර්වල වූ ඉන්ද්‍රීය මගින් ලබාදෙන වැරදි දත්තයක් විනා යථාර්ථය නොවේ.

යථාර්ථය ගෝචර වන්නෙ ප්‍රඥාවට යි. ප්‍රඥාව තුළින් ඉන්ද්‍රීයන් ආවරණය කරගෙන ඇති සියල්ල විනිවිද දැකිය හැකිය. මන්ද වසා ඇති දෙයක් වසා ඇති බව පෙනීමට තරම් ප්‍රඥාව දුර්වල නොවන හෙයිනි. එනමුත් ප්‍රඥාව නැමැති ඉන්ද්‍රීය තුළින් බැලූවිට හසුවන පථයේ කිසිවක් නොපෙනේ. එබැවින් හිස් අවකාශයක් පමණි.

Comments

Popular posts from this blog

අපි ආදරය කරන්නෙ ඇත්තටම ද?

මහපොළොව මත හිඳ, පාවහන් ගලවා එන්න අපි ඇත්ත කතා කරමු.

මම ඔවුන් රැක ගනිමි...