පණිවිඩයක්
පුතේ දැන ගනු මගේ ආයුස
වසර දසදහසටත් පැරණිය
වසර දසදහසටත් පැරණිය
මතකයි එදවස නුඹලා ඉපදෙන්නටත් කලියෙන්
මා සරු සාර විය මලින් පලින් බර විය.
සාර තෙදැති වනපියස්
හරිතවත් කරා මිහි තලයම
සිසිල් නිල්වන් දියදහරා
සයුරු රළ සිපගන්ට
පියමං කලේ ගී ගයමින් ය.
මා සැරසවූ මල් පල,
කුසගිනි හැදුනු විට කන්න
වන සිව්පාවුන්ටත් එකගය.
එයයි එදවස වූ, එකම රෝ බිය ලෝසතාටම.
ටිකෙන් ටික නුඹ මෝරන විට ගසින් ගසට පැන පලවැල වළදන විට,
මසිත සොම්නස් උනේ
මගේ සෙවණේ සිටින නුඹ දැක.
කෙමෙන් පරිණාමය වෙන විට
මා බලා සිටියේ නුඹේ අරුමැති හිස දෙස,
නුවණ වැඩෙනා අපූරුව.
දෙපයින් වාරුගෙන නැගී සිටි විට
මා තරම් සිනාරැලි නැගි,
කෙනෙක් නම් තව නැත.
බලන් මිනිසා පියනගන අරුමය !
නීල දියතෙර පැන් පොදක් බී
සොයුරු වනසත් කැටුව පෙළකට
අග්නි එලියෙන් විපරම් කරමින්
හරිත සෙවණක ගිමන් හැරි නුඹ...
දිනෙන් දින කල් යත්ම
මගේ දායාදත් ගෙන
වවා ගොවියෙකු වූ නුඹ
ඉතා දක්සයි දිවි ගෙවන්නට.
යතාදහමේ කඩයිම් ජය ගෙන
ආපසු නොබලාම
පියමං කරේ නුඹ පෙරටම
විද්‍යාවෙන් ඉදුරන් සනසන්ට,
අදුරෙන් එලියට යනවැයි කියා !
ටිකෙන් ටික වැඩිවියට ලංවත්ම
බැලුවේ මදෙස නම් නොව,
නුඹම නිමවාගත් වස්තුව ය.
අප දුන් දායාද මදි වී දෝ...
එයට මගෙ අමනාප නම් නැත
ඒත් නුඹගේ සා පිපාසා නිවන්ට,
පැන් පොදක් කොහින්ද ?
තුරු ලතා සිදවන විට,
බලන්න මදෙස....
නුඹේ පෙණැහැල්ලට
වා බිදක් කොයින්ද
මාව අමතක කළ විට.
නැගී එන විට දනන්ගහණය
ඉදිවෙන විට සිමෙන්ති වනාන්තර
විසි කරන විට කසළ සැම තැන
කෙතරම් රිදුම් දෙනවා ඇත්ද මට ?
නුඹේ මේ මහී මාතාවට
කෙසේ නම් දරා ගන්නද එදුක් වේදනාවන් සැම?
රිදෙනවා පුතේ මගේ වියැකෙන ගත
දවනවා නුඹවම වැදූ මේ ගත.
නුඹේ වරදින් අද මිහිතලයම
දැවී අලු වී යන බව දුටුවාද ?
මුරණ්ඩු නොවනු මැන
හිතුවක් නොකරනු මැන
ඉදුරන්ට වසග වීමෙන් නොලැබේ තවත් සැනසුම...
පුතේ මේ අහගන්න ,
නුඹ 'මනුස්සයෙක්' බව අමතක නොකරන්න
සියල් සතුන් පරදන නුවණ හිමි නුඹ
එක් විය යුතුය නොපමාව
නැවත සොබාදහමටම.
නුඹේ උත්තර මෑණියන් දෑ සේ...
එයයි මිනිසත්බවේ අරමුණ.
දකිනු මැන ලෝකය නිසැකවම
හරිත සුන්දර මහීතලය මත
තෙදැස් ඇත්තෙකු ලෙසින් ලෙළදෙන්න
උත්තුංග මිනිසත් බව සුරකින්න !
සාදුකාර හඩ ඇසෙනු ඇත නුදුරදිම !
-නුඹේ සොබාදම් මෑණියන්

Comments
Post a Comment